Wednesday, August 15, 2012

තනිකඩ ජීවිත?

කෙල්ලෙක්ට අවුරුදු විස්ස පැන්නට පස්සේ ඒ කෙල්ල ඇතුලු ඇයගේ පවුලේ ඥාතීන් ටික ටික හිතන්න ගන්නේ ඇයගේ විවාහය ගැන. මේක හැම කෙනෙකුටම වගේ පොදු කරුනක්. සමහරු මේ විවාහය ආදරය මත තීරණය කරනවා. තවත් සමහරු මුදල් හා පෙළපත මත විවාහය තීරණය කරනවා. ඉස්සරට වඩා අද සමාජයේ බහුතරයක් තියෙන්නේ යෝජිත විවාහ වලට වඩා ආදර විවාහ. මේ අතර සමහර කෙල්ලෝ ඉන්නවා කිසිම දිනෙක පෙම් පලහිලව් වල පැටලෙන්නේ නැතුව ගෙදරින් කරන යෝජනාවක් අනුව විවාහය ගැන තීරණය කරන. මේ විදිහ කෙල්ලෝ ගැන අහපු ගමන් වැඩිහිටි උදවිය නම් කියන්නේ "ඒ ළමයගේ කේන්දරේ හොඳ නැතුව ඇති." ඒත් සමහර තරුණ උදවිය කියන්නේ "ඒ කෙල්ල ලෙස්බියන් වෙන්න ඇති."

සමාජය මොන ලේබලය අලවන්න උත්සාහ කලත් සමහර කෙල්ලෝ ඉන්නවා විවාහයට බය. ඒවට හේතු තියෙන්න පුලුවන්. කරදරකාර පියෙක් ඉන්න පවුල් වල කෙල්ලෝ බය වෙන්න පුලුවන් තමන්ටත් තමන්ගේ පියා වගේ සැමියෙක් ලැබෙයි කියලා. තවත් සමහරු තමන්ගේ මිතුරියන්ගේ ජීවිත දිහා බලලා මොන වගේ විවාහ ජීවිතයක් ඇති වෙයිද කියලා බිය වෙන්න පුලුවන්. මේ වගේ කාරණා මැද්දේ සමහර කෙල්ලෝ ඉන්න පුලුවන් කිසිම හේතුවක් නැතිව තනිකඩව ජීවත් වෙන්න කැමති. විවාහයේ ඇති වෙන බැඳීම් වලට අකමැති, නිදහසේ ජීවත් වෙන්න කැමති, තව කෙනෙක්ට යටත් නොවි, තව කෙනෙක්ගෙන් යැපෙන්නේ නැතුව ඉන්න කැමති කෙල්ලෝ ඉන්න පුලුවන්. ඒත් එහෙම අය හිටියත් එයාලගේ වටේ ඉන්න අය ඒ විදිහට හිතන්න කැමති නැහැ. විශේෂයෙන්ම අවුරුදු තිස්පහ විතර පැනපු ගැහැණියක් තනිකඩව ඉන්නවම් ගොඩක දෙනා කියන කතාවක් තමයි, "අනේ පව් අරයා. තාම කසාදයක් හරි ගියේ නැහැනේ. සල්ලි තිබ්බත්, හොඳ රස්සාවක් තිබ්බත් වැඩක් නැහැනේ කසාදයක් නැතුව." ඒත් මේ කතා බහට ලක්වෙන පුද්ගලයගෙන් මේ ගැන ඇහුවොත් ලැබෙන උත්තරය වෙනස් වෙන්න පුලුවන්.

මෑතකදි මේ සම්බන්දයෙන් අහන්න ලැබුන දෙබස් කිහිපයක් මම මෙතන දාන්නම්. මේ දෙබස ඇති වුනේ තනිකඩ කෙල්ලෙක් ඇයගේ ඥාතියෙකුගේ විවාහ උත්සවයකට ගිය වෙලාවකදි. එතනදි වැඩිහිටි ඥාතීන් කිහිප දෙනෙක් හා ඇය අතර ඇති වූ දෙබසක් තමයි මේ.

"දැන් ඉතින් පරම් පරාවෙන්ම බඳින්න ඉතුරු වෙලා ඉන්නේ ඔය දරුවා විතරයි."

"ඔව් ඔව්.. දැන් ඉතින් තනියෙම හිටියා ඇති. තව වයසට යන්න කලින් කෙනෙක්ව හොයා ගන්න."

"අයියෝ නැන්දා... මම හැමදාම කියනවා. මම කවදාවත් බඳින්නේ නැහැ."

"ළමයෝ.... දැන් ඔහොම කිව්වට තව ටික කාලෙකින් හිතෙයි බඳින්න ඕනා කියලා. ගෑණුන්ට තනියම ජීවත් වෙන්න බැහැ."

"මොකද නැන්දා බැරි. මට තනියම ජීවත් වෙන්න පුලුවන්. මට කාගෙන්වත් යැපෙන්න ඕන නැහැ."

"එතකොට ලෙඩක් දුකක් හැදුනහම බලන්නේ කවුද? වයසට යනකොට තනියට ළඟ ඉන්නේ කවුද? තනියම ඉන්නවා කියලා හිතන්න ලේසියි, ඒත් ඉන්න එක හරිම අමාරුයි."

"ලෙඩ වෙනවා, වයසට යනවා කියලා මම කැමති නැති කෙනෙක් එක්ක ජීවත් වෙන්න මට බැහැ. මොනව හරි උනොත් ඒක ඒ වෙලාවට බලා ගන්නවා. ඒ හැමදේටම වඩා මට මේ නිදහසේ, සැනසිල්ලේ ඉන්න ජීවතය වටිනවා."

"අනේ මන්දා දරුවෝ. අපේ කාලවලනම් බඳින්නෙම නැතුව හිටියේ එහෙමත් කෙනෙක්. බලන්න අර ශ්‍රීමා අක්කා, තට්ට තනියමනේ දැන් ජීවත් වෙන්නේ. වැඩට ඉන්න කෙල්ල හොඳ නිසා හොඳයි. නැත්නම් ඉතින් මොනව වෙයිද?"

"අපි ඔය කතාව නවත්තමු නැන්දා. අරයට මෙහෙම උනා, මෙයාට මෙහෙම උනා කියන එක මගේ ජීවතයත් එක්ක කම්පෙයාර් කරන්න බැහැනේ. හැමදේටම වඩා මට මේ තනියම ඉන්න එක සැපයි."

දෙබස ඉවර වෙලා ඇය එතනින් යනකම් බලන් ඉඳලා වැඩිහිටියෝ කියපු කතාව තමයි, "ඒ ළමයට පින නැහැ." යාන්තමට ඒක ඇයට ඇහුනත් කට කොනින් හිනා වෙලා ඇය ඒක අමතක කලා.

 

"I don't need a man to rectify my existence. The most profound relationship we'll ever have is the one with ourselves." - Shirley MacLaine

6 comments:

  1. මේ ගැනනං ලියන්න කාරණා එමටයි... ඒත් ලිව්වොත් විවාහක උදවිය මාත් එක්ක තරහා වෙනවා උන්දලගේ හීන චප්ප කරලා පෙන්වන කැත කියලා...

    මේක ලියලා තියෙන්නේ කාන්තා පාර්ශවයට අදාලව උනත් අපිටත් ඒක එහෙමම තමා...

    මේ ළගකදී මං වැඩ කරන තැන කෙනෙක් ආවා මාත් එක්කත් ඔය දේශනය කරන්න... මං අහං හිටියා... අහං ඉඳලා හිමිහිට කතාව පටන් ගත්තා කොනක ඉඳන්... පැයක හමාරක දේශනයෙන් පස්සේ මෑන් ගියේ දික්කසාඳ වෙන්න තිබුනනං හොඳයි කියන තරමට හිත වෙනස් කරගෙන... (නොබැඳ ඉන්න එකාට බඳින්න කියලා හුග දෙනෙක් කියන්නේ ඌට ඇති ආදරේකට නෙවෙයි..ඒක ලොකු අඩුපාඩුවක් වගේ කියලා උලුප්පලා පෙන්නන්න විතරයි‍. එහෙම දේශන තියන්න එන උදවියව මංනං හිතා මතාම මානසිකව වට්ටනවා ආයේ කෙනෙකුට දේශන නොතියන ගානටම...ඇයි යකෝ අපිට ඕනනං අපි බැඳ ගන්නවනේ කවුරුවත් ඒක කියන්න ඔන්න ඕනද..? )

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මමත් ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ, ඔහොම කියන අය කියන්නේ ආදරයටම නෙමෙයි. මානසිකව වට්ටන්න, තමන්ගේ හිත සතු‍ටු කර ගන්න, අදාල පුද්ගලයාට හා වටේ ඉන්න කට්ටියට ඒක ලොකු අඩුපාඩුවක් කියලා පෙන්නන්න.

      ගොඩක් මිනිස්සු තමන්ගේ ජීවිතයටත් ගරු කරලා අනිත් අයගේ ජීවිතයටත් ගරු කරන්න පුරුදු වෙලා නැහැ.

      Delete
  2. :)

    ඇත්ත මෙවැනි දේවල් ප්‍රස්නයක් කර ගන්නෙ ගොඩක් වෙලාවට අනුන්.

    @ මාර පුත්‍ර,

    ජීවිතෙ අනියතයි තමා
    හීනත් අනියතයි ඒ නිසා
    අනියත නිසා හැමෝම හිතුවොත් ඕන නෑ කියලා මොකෝ වෙන්නෙ?

    හෙට බිඳිලා ගියත් උනත් අද ඒ හීන නිසා සන්තෝසෙන් ඉන්නව අපි නම්:P

    ReplyDelete
    Replies
    1. අන්න නිශ් පුතා හොඳ ප්‍රශ්නයක්...

      "හැමෝම හිතුවොත් ඕන නෑ කියලා මොකෝ වෙන්නෙ?"

      ඔව් මං අහන්නෙත් මොකද වෙන්නේ..?:D

      Delete
    2. වෙනදේ ගැන වාද කරන්න මෙතන බෑ.
      දැනට නම් හිතෙන්නෙ

      සිහ් බොගෙ අම්මටයි තාත්තටයි ඒ කාලෙ ඔහොම් හිතුනෙ නැත්තෙ ඇයි කියලා විතරයි:D:D

      Delete
    3. "සිහ් බොගෙ අම්මටයි තාත්තටයි ඒ කාලෙ ඔහොම් හිතුනෙ නැත්තෙ ඇයි කියලා විතරයි"

      එව්වට මට කොරන්න දෙයක් තිබුනේ නැහැනේ බං... නැත්තං මංම කියනවා...

      වාද කිරිල්ලක් නෙවෙයි හිතලා බලන්න ඕන කාරණාවක් ඕක... විවේක පාඩු වෙලාවක පැත්තක් අල්ලං කල්පනා කරහං...

      Delete