Friday, August 17, 2012

ආගම දහම?

 

බෞද්ධ ධර්මය කියන්නේ ආගමක්ද? නැත්නම් දර්ශනයක්ද? කුඩා කාලයේ ඉඳන්ම ඉගෙනෙ ගෙන තියෙන විදිහට නම් බෞද්ධ ධර්මය කියන්නේ දර්ශනයක්, ඒත් මේ තියෙන වටපිටාව බැලුවහමනම් මට හිතෙන්නේ මිනිස්සු මෙහි අන්තර්ගතය පිළිබඳව හිතා ඒ අනුව ජීවිතය හදා ගන්න හදනවට වඩා අන්ධ භක්තියකින් ආගම අදහන්න පොරකනවා කියලා. මෑතක ඉඳන් ෆේස්බුක් හරහා මේ අන්ධ භක්තිකයන් බුද්ධාගමට සෑහෙන ලොකු ප්‍රචාරයක් දෙමින් එහි හුවමාරු කරගන්නා පින්තූර හා අදහස් වලට ප්‍රතිචාර දක්වන්නන් නියම බෞද්ධයන් ලෙස හඳුන්වන්නට උත්සාහ කරන බවක් පේනවා. ඒ එක්කම අනිත් ආගම් සහ ජාතී හෙලා දැකීම නියම සිංහල බෞද්ධයන්ගේ යුතුකම බව මිනිස්සුන්ගේ ඔලුවට දාන්නත් මේ අය උත්සාහ කරනවා. මේ ‍රැල්ල කවදා කොතනින් ඉවර වෙයිද කියලා හිතා ගන්න අමාරුයි.

මීට ටික කාලෙකට පෙර මගේ මවගේ පාර්ශවයේ ඥාතියෙකුගේ පිරිත් දේශනයකට සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුනා. සියලුම වැඩ අහවර වී ඥාතීන් පිරිස සතු‍ටු සාමීඡියේ යෙදී සිටින අවස්ථාවේදී, පිරිත් ගෙදරදී බෙදීමට මුද්‍රණය කරන ලද බණ පොතක් මා අත තැබූ නැන්දා කිව්වේ එම පොත තරුණ පරම්පරාවට උචිත අයුරෙන් ලියූ නිසා එය කියවන ලෙසය. පොත අතට ගත් මම මද සිනහවකින් ඇයට සංග්‍රහ කළ විට ඇය එතෙකින් නොනැවතී තව තවත් ධර්මය පිළිබඳව දේශනා කරන්නට පටන් ගත්තා.

"හරියට ආගම අදහනවනම් කවදාවත් ජීවිතය වරදින්නේ නැහැ දුව. ඔයාලත් දැන්ම ඉඳන්ම ආගම දහමට, පන්සලට හිත යොමු කරන්න."

"හැමදාම පන්සල් නොගියත් පස් පව් වලින් වැලකිලා ඉන්න මම උත්සාහ කරනවා නැන්දා. ඒකට පන්සලටම යන්න ඕන නැහැනේ."

"අපිනම් ඉතින් දැන් වැඩි හරියක් යන්නේ පන්සලටම තමයි. හැම පෝයටම සිල් ගන්නවා. දැන් ඉතින් අපි යන තැනකට පිනක් දහමක් කර ගන්න ඕන කාලෙනේ."

"ඒ කියන්න වයසට යනකොට පින් දහම් කරන්න ඕනා ඊළඟ ආත්මේ හොඳ තැනක, හොඳ විදිහට ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නද?"

"ඔය ළමයි එක්ක ඉතින් කතා කරලා බේරෙන්න බැහැනේ."

ඇය එතැනින් නික්මුනේ හිත අමනාපයෙනි. මේ පිළිබඳව මාගේ මව හා පැවසුව විට ඇය කියුවේ නැන්දා ඇත්තටම පිං දහම් කරන්නේ ඊළඟ ආත්මයේ මීටත් වඩා හොඳ තැනක ඉපදෙන්නට තියෙන ආසාවට විය යුතු බවය. මෑතකදී ඇය රාත්‍රී භෝජන සංග්‍රහයකට අප නිවසට ගොඩ විය. ඇය යන්නට පිටත් වන විට අපි සියලු දෙනාම ඇය පසු පසින් කතා කර කර ගේට්‍ටුව දෙසට පියමන් කළෙමු. මද දුරක් ගොස් ඇය නැවතුනේ ලොකු හිනාවක්ද මුහුණෙ රඳවා ගනිමින්.

"දන්නවද? අපි දැන් හරියට පින් කරනවනේ."

"හානේ ඇත්තද? කොච්චර හොඳද."

"මමයි පුතයි එකතු වෙලා මේ ළඟදී පන්සලට ගේට්‍ටුවක් දාලා දුන්නනේ. ලක්ෂෙකට වැඩිය වියදම් උනා ඒ වැඩේට. ඊට පස්සේ හාමුදුරුවන්ට ඇඳවල් දෙකකුත් අරන් දුන්නා."

"හානේ ඇත්තද? කොච්චර ලොකු පිනක්ද. ඔහොම පින්කරන්න හිතෙන්නත් ඉතින් වාසනාව තියෙන්න ඕනා." අසරණ මනුස්සයෙකුට සත පහක් වියදම් කිරීමට ලෝබ වෙන නැන්දාගේ කතාවට මව දුන් පිළිතුරට මුවට ආ සිනහව තද කරගෙන සිටියේ මහත් අපහසුවෙනි.

"අනිත් දවසේ මොනව හරි කරනකොට මම නංගිටත් කියන්නම්. එතකොට නංගිටත් සම්මාදම් වෙන්න පුලුවන්නේ."

මෙවැනි දේවල් දිහා බලන් සිටින විට මට වැටහී ගිය කාරණා කිහිපයකි. එනම්,

  • පින් කිරීමට මුදල් තිබිය යුතුමය. මුදල් වලින් කරනා පින් වලට අමතරව කරනා කිසිදු පිනක් මුදල් වලින් කරනා පින තරම් වටින්නේ නැත.
  • නියම ආගම් භක්තිකයෙකු නම් අනිත් ආගම් හෙලා දැකිය යුතුය, ඒ වගේම අනිත් සාමාජිකයන්ට හරියට ආගම අදහන ලෙස තරව‍ටු කල යුතුය.
  • නියම ආගම් භක්තිකයෙකු නම් හිතේ මොන දේ තිබුනත්, මොන වැ‍රැද්ද කලත් පන්සලට ගොස් සිල් ගත යුතුය, බෝධි පූජා පැවැත්විය යුතුය.
  • නියම ආගම් භක්තිකයෙකු නම් හොර රහසේ පින් කර වැඩක් නැත, හැමෝම දකින ආකාරයට එම පින කළ යුතුය. නොදැක්ක කෙනෙකු සිටීනම් ඒ පිළිබඳව දැනුවත් කළ යුතුය.

Wednesday, August 15, 2012

තනිකඩ ජීවිත?

කෙල්ලෙක්ට අවුරුදු විස්ස පැන්නට පස්සේ ඒ කෙල්ල ඇතුලු ඇයගේ පවුලේ ඥාතීන් ටික ටික හිතන්න ගන්නේ ඇයගේ විවාහය ගැන. මේක හැම කෙනෙකුටම වගේ පොදු කරුනක්. සමහරු මේ විවාහය ආදරය මත තීරණය කරනවා. තවත් සමහරු මුදල් හා පෙළපත මත විවාහය තීරණය කරනවා. ඉස්සරට වඩා අද සමාජයේ බහුතරයක් තියෙන්නේ යෝජිත විවාහ වලට වඩා ආදර විවාහ. මේ අතර සමහර කෙල්ලෝ ඉන්නවා කිසිම දිනෙක පෙම් පලහිලව් වල පැටලෙන්නේ නැතුව ගෙදරින් කරන යෝජනාවක් අනුව විවාහය ගැන තීරණය කරන. මේ විදිහ කෙල්ලෝ ගැන අහපු ගමන් වැඩිහිටි උදවිය නම් කියන්නේ "ඒ ළමයගේ කේන්දරේ හොඳ නැතුව ඇති." ඒත් සමහර තරුණ උදවිය කියන්නේ "ඒ කෙල්ල ලෙස්බියන් වෙන්න ඇති."

සමාජය මොන ලේබලය අලවන්න උත්සාහ කලත් සමහර කෙල්ලෝ ඉන්නවා විවාහයට බය. ඒවට හේතු තියෙන්න පුලුවන්. කරදරකාර පියෙක් ඉන්න පවුල් වල කෙල්ලෝ බය වෙන්න පුලුවන් තමන්ටත් තමන්ගේ පියා වගේ සැමියෙක් ලැබෙයි කියලා. තවත් සමහරු තමන්ගේ මිතුරියන්ගේ ජීවිත දිහා බලලා මොන වගේ විවාහ ජීවිතයක් ඇති වෙයිද කියලා බිය වෙන්න පුලුවන්. මේ වගේ කාරණා මැද්දේ සමහර කෙල්ලෝ ඉන්න පුලුවන් කිසිම හේතුවක් නැතිව තනිකඩව ජීවත් වෙන්න කැමති. විවාහයේ ඇති වෙන බැඳීම් වලට අකමැති, නිදහසේ ජීවත් වෙන්න කැමති, තව කෙනෙක්ට යටත් නොවි, තව කෙනෙක්ගෙන් යැපෙන්නේ නැතුව ඉන්න කැමති කෙල්ලෝ ඉන්න පුලුවන්. ඒත් එහෙම අය හිටියත් එයාලගේ වටේ ඉන්න අය ඒ විදිහට හිතන්න කැමති නැහැ. විශේෂයෙන්ම අවුරුදු තිස්පහ විතර පැනපු ගැහැණියක් තනිකඩව ඉන්නවම් ගොඩක දෙනා කියන කතාවක් තමයි, "අනේ පව් අරයා. තාම කසාදයක් හරි ගියේ නැහැනේ. සල්ලි තිබ්බත්, හොඳ රස්සාවක් තිබ්බත් වැඩක් නැහැනේ කසාදයක් නැතුව." ඒත් මේ කතා බහට ලක්වෙන පුද්ගලයගෙන් මේ ගැන ඇහුවොත් ලැබෙන උත්තරය වෙනස් වෙන්න පුලුවන්.

මෑතකදි මේ සම්බන්දයෙන් අහන්න ලැබුන දෙබස් කිහිපයක් මම මෙතන දාන්නම්. මේ දෙබස ඇති වුනේ තනිකඩ කෙල්ලෙක් ඇයගේ ඥාතියෙකුගේ විවාහ උත්සවයකට ගිය වෙලාවකදි. එතනදි වැඩිහිටි ඥාතීන් කිහිප දෙනෙක් හා ඇය අතර ඇති වූ දෙබසක් තමයි මේ.

"දැන් ඉතින් පරම් පරාවෙන්ම බඳින්න ඉතුරු වෙලා ඉන්නේ ඔය දරුවා විතරයි."

"ඔව් ඔව්.. දැන් ඉතින් තනියෙම හිටියා ඇති. තව වයසට යන්න කලින් කෙනෙක්ව හොයා ගන්න."

"අයියෝ නැන්දා... මම හැමදාම කියනවා. මම කවදාවත් බඳින්නේ නැහැ."

"ළමයෝ.... දැන් ඔහොම කිව්වට තව ටික කාලෙකින් හිතෙයි බඳින්න ඕනා කියලා. ගෑණුන්ට තනියම ජීවත් වෙන්න බැහැ."

"මොකද නැන්දා බැරි. මට තනියම ජීවත් වෙන්න පුලුවන්. මට කාගෙන්වත් යැපෙන්න ඕන නැහැ."

"එතකොට ලෙඩක් දුකක් හැදුනහම බලන්නේ කවුද? වයසට යනකොට තනියට ළඟ ඉන්නේ කවුද? තනියම ඉන්නවා කියලා හිතන්න ලේසියි, ඒත් ඉන්න එක හරිම අමාරුයි."

"ලෙඩ වෙනවා, වයසට යනවා කියලා මම කැමති නැති කෙනෙක් එක්ක ජීවත් වෙන්න මට බැහැ. මොනව හරි උනොත් ඒක ඒ වෙලාවට බලා ගන්නවා. ඒ හැමදේටම වඩා මට මේ නිදහසේ, සැනසිල්ලේ ඉන්න ජීවතය වටිනවා."

"අනේ මන්දා දරුවෝ. අපේ කාලවලනම් බඳින්නෙම නැතුව හිටියේ එහෙමත් කෙනෙක්. බලන්න අර ශ්‍රීමා අක්කා, තට්ට තනියමනේ දැන් ජීවත් වෙන්නේ. වැඩට ඉන්න කෙල්ල හොඳ නිසා හොඳයි. නැත්නම් ඉතින් මොනව වෙයිද?"

"අපි ඔය කතාව නවත්තමු නැන්දා. අරයට මෙහෙම උනා, මෙයාට මෙහෙම උනා කියන එක මගේ ජීවතයත් එක්ක කම්පෙයාර් කරන්න බැහැනේ. හැමදේටම වඩා මට මේ තනියම ඉන්න එක සැපයි."

දෙබස ඉවර වෙලා ඇය එතනින් යනකම් බලන් ඉඳලා වැඩිහිටියෝ කියපු කතාව තමයි, "ඒ ළමයට පින නැහැ." යාන්තමට ඒක ඇයට ඇහුනත් කට කොනින් හිනා වෙලා ඇය ඒක අමතක කලා.

 

"I don't need a man to rectify my existence. The most profound relationship we'll ever have is the one with ourselves." - Shirley MacLaine

Friday, August 3, 2012

සදාකාලික ප්‍රේමය?

 

අද සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනා එක පාරකට වැඩිය ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන තියෙනවා. සමහරු ඇත්තටම ආදරේ නිසාත්, තවත් සමහරු වෙනත් ලාභ ප්‍රයෝජන නිසාත් මේ සම්බන්ධතා ඇති කර ගන්නවා. මුලු ජීවිත කාලය පුරාවටම රඳා පවතින ආදරයක් හා සම්බන්ධතාවයක් ඇති කර ගන්නේ කොහොමද?

මං හිතන්නේ ඒකට වඩාත්ම වැදගත් වෙන්නේ එකිනෙකාගේ තේරුම් ගැනීම. අපි කාටහරි මුලින්ම කැමති වෙන්නේ ඒ කෙනාගේ බාහිර රූපෙට. ඊට පස්සේ දෙන්නට දෙන්නා කැමති නම් සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්නවා. ඒත් එය පටන් ගන්න අවස්ථාවේදී එකිනෙකාගේ සිතුම් පැතුම්, හැසීරීම් ගැන අවබෝධයක් දෙදෙනා ළඟම නැහැ. ටික කලක් යනකොට තමයි දෙදෙනාගේ සිතුම් පැතුම්, හැසිරීම් ගැන අවබෝධයක් ලැබෙන්නේ. ගොඩක් වෙලාවට අපි කරන්න හදන්නේ තමන් අකමැති ගතිගුණයක් අනෙකා තුල තියෙනවානම් ඒක අපි කැමති විදිහට වෙනස් කරන්න උත්සාහ කරන එක. ඒ ගතිගුණ ගැන තේරුම් අරගෙන ඒවා වෙනස් නොකර දිගටම සම්බන්ධය ගෙනියන්න ගොඩක් වෙලාවට අපේ හිත් වලට අපහසුයි.

මේ තත්ත්වය තව උග්‍ර වෙනවා දෙදෙනා එකතු වෙලා විවාහ ජීවිතයක් පටන් ගත්තහම. විවාහයට කලින් ප්‍රේම සම්බන්ධය ඇති කාලයේ එකිනෙකා මුණ ගැහෙන්නේ යම් කාල සීමාවක් ඇතුලත. මේ කාලසීමාව තුල දෙදෙනා පුරුදු වෙලා ඉන්නේ අනිත් කෙනාට කැමති විදිහට හැසිරෙන්න. එම නිසා ගොඩක් වෙලාවට එකිනෙකාව හරි විදිහට තේරුම් ගැනීම ටිකක් අපහසු වෙනවා. ඒත් විවාහ උනාට පසුව දෙදෙනා හැමතිස්සෙම ජීවත් වෙන්නේ එකට. එහෙම ටික කලක් ඉන්නකොට අනෙකාට කැමති විදිහට හැමතිස්සේම ජීවත් වෙන්න අපහසුයි. ටික කලකින් තමන්ගේ සුපුරුදු ප්‍රතිරූපය එළියට එනවා. එහෙමත් නැත්නම් විවාහය ඇතුලේ තමන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පටන් ගන්නවා. එහෙම උනහම ගොඩක් වෙලාවට අහන්න ලැබෙන කතාවක් තමයි "ඔයා ඉස්සර වගේ නෙමෙයි, බැන්දට පස්සේ ඔයා හරිම වෙනස්" කියන එක.

තමන් කොච්චර ආදරේ උනත් අනෙකාගේ අකමැති ගතිගුණ විඳ දරා ගන්න අපේ හිත් ලෑස්ති නැහැ. කොහොමහරි උත්සාහ කරනවා ඒ ගතිගුණ වෙනස් කරන්න. සමහර පුංචි පුංචි දේවල් වෙන්න පුලුවන්. ඒත් මේ පුංචි පුංචි දේවල් පුංචි පුංචි රණ්ඩු වලට පෙරලෙන්නේ අපි නොදැනුවත්වමයි. ටික කාලෙකින් ඒවා ලොකු රණ්ඩු වලට පෙරලෙනවා. ඉන්පසු දෙදෙනාගේ සම්බන්ධය නවත්වනවා, එහෙමත් නැත්නම් දික්කසාද වෙනවා.

අද සමාජය දිහා බැලුවහම හැම බැඳීමකටම මේ දේ පොදුයි. ඒත් මේ රණ්ඩු, හිත් අමනාපකම් අවම කරගෙන හැමදාම ආදරෙන් ජීවත් වෙන්න පුලුවන්ද? අනෙකාව තේරුම් අරගෙන, ඔහුගේ හෝ ඇයගේ වැරදි තේරුම් අරගෙන ඒවත් එක්ක ජිවත් වෙන්න පුලුවන්නම් හැමදාම ආදරෙන් ඉන්න පුලුවන් වෙයි. අපි හිතනවා මම එයා වෙනුවෙන් වෙනස් උනානම් ඇයි එයාට මම වෙනුවෙන් වෙනස් වෙන්න බැරි කියලා. අපි කවුරුවත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි. කුඩා කල ඉඳන්ම තමන් හැදුන විදිහ, හිතන්න පුරුදු වුන විදිහ වෙනස් කරන්න ගොඩක් අමාරුයි. තමන් වෙනස් උනත්, වෙනස් වෙන්න පුලුවන් තරම් මානසිකත්වයක් අනිත් කෙනාට නැති වෙන්න පුලුවන්. මේ වගේ දේවල් නිසා ඇති වෙන බහින් බස් වීම් දුරදිග යවාගන්නේ නැතුව ඉවසීමෙන් අනෙකාව තේරුම් ගන්න උත්සාහ කරනවනම් හැමදාම ආදරෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි.

 

“Be understanding.  We are all human.  You can never expect something from someone that you are not willing to do yourself.  As much as you may think your partner is Superman (or Superwoman), they are still human, and they have feelings just like you do.”