Friday, July 20, 2012

දරුවන් හදන්නේ ඇයි?

 

අපි ජීවත් වෙන මේ සමාජයේ ගොඩක් මිනිස්සු හිතන පතන විදිහ හරිම වෙනස්. ඒ වගේම තමන් හිතන පතන විදිහ හරියි කියලා තමයි හැමෝම හිතන්නේ. විවාහය ගැන මේ සමාජයේ ඉන්න බොහොමයක් මිනිස්සු දරන්නේ එකම මතය. පිරිමියෙක් හොඳ ගැහැණියෙක්ව බැඳගෙන ළමයි හදාගෙන ජීවත් වෙන එක තමයි විවාහය කියලා දකින්නේ. ආදරෙන් වෙලිලා ඉන්න යුවලක් දැක්කොත් ගොඩක් දෙනා අහන්නේ කවදද බඳින්නේ කියලා. බැන්දට පස්සේ අහන්නේ තාම ළමයි නැද්ද කියලා.  ගොඩක් අයට මේ ප්‍රශ්ණ හරිම හිසරදයක්. ඒත් වැඩිහිටියෙක්ගේ මූණටම බනින්න අපහසු නිසා ගොඩ දෙනෙක් මේ ප්‍රශ්ණ විඳදරා ගන්නේ හරිම අමාරුවෙන්. ළඟදි මට අහන්න ලැබුන සංවාදයක කොටසක් මෙතන දැම්මොත් හොඳයි කියලා හිතුනා. මේ සංවාදයට අදාල යුවතිය විවාහ වෙලා අවුරුදු පහක් විතර වෙනවා. මේ සංවාදය යන්නේ ඇය අඳුනන තවත් ගැහැණියක් එක්ක.

"මොකද තාම ජෝඩුවට ළමයෙක් හදන්න කල්පනාවක් නැද්ද?"

"ආවට ගියාට ළමයි හදන්න බැහැනේ ආන්ටි. ළමයෙක් හදන්න කලින් කරගන්න කොච්චර දේවල් තියෙනවද?"

"අපිනම් ඒ කාලේ ළමයි හැදුවේ පේන බල බල නෙමෙයි. අද මම මෙහෙම සතුටෙන් ඉන්නේ ඒ ළමයි හින්දා."

"ඉස්සර වගේ දැන් ජීවත් වෙනවා කියන එක ලේසි නැහැ. දෙන්නෙක්ට හරියට කන්න බොන්න විදිහක් නැතුව තව ළමයෙකුටත් කන්න බොන්න දෙන්නේ කොහොමද?"

"බැඳපු ගමන් ඉක්මණට ළමයෙක් හදන එක තමයි හොඳ. පහු වෙනකොට ඕවා පුලුවන් වෙයිද දන්නේ නැහැනේ. ගෑණු අපි ජීවත් වෙන්නේ ළමයි හදන්න. ළමයෙක් හදන්න බැරි නම් ඒ ගෑණිගෙන් වැඩක් නැහැ. ඔය ළමයිට දැන් නෙමෙයි තේරෙන්නේ, වයසට ගියහම. වයසට ගිහින් වැඩපල කර ගන්න බැරි උනහම තමයි ළමයිගේ අගේ තේරෙන්නේ."

"ආන්ටි, මම ළමයෙක් හදනවනම් හදන්නේ වයසට ගියහම මගේ වැඩ කර ගන්න නෙමෙයි. මට හිතුනොත් මට හිතුන කාලෙක හදනවා. කවුරුවත් ඒ ගැන වද වෙන්න ඕනා නැහැ."

මේ යුවතිය එතැනින් පිටත් උනේ තරහෙන් පුපුර පුපුර. තමන්ට ළමයෙක් හදන්න උවමනාවක් නැත්නම් හරි, ළමයෙක් හදන්න නොහැකියාවක් තියෙනවම් හරි  ඒ ගැන මොකටද අනිත් අය වද වෙන්නේ? ඒත් එක්කම අද ගොඩක් දෙනා ළමයි ගැන කතා කරනකොට කියන්නේ තමන් වයසට ගියහම ළඟ ඉන්න ළමයෙක්වත් ඉන්නම ඕනා කියලා. හැමෝම නැති උනත් අද සමාජයේ ජීවත් වෙන මිනිස්සු තමන් තනි වෙයි කියන බයට එක ළමයෙක් හරි කොහොම හරි හදා ගන්න අවස්ථා තියෙනවා. තමන්ගේ හිතෙන් ප්‍රශ්ණ කරලා බලන්න තමන් ඇත්තටම ළමයෙක් හදන්න කැමති ළමයෙකුට තියෙන ආසාව නිසාද, එහෙමත් නැත්නම් තමන්ගේ තනියටද කියලා. කීයෙන් කී දෙනෙක් මේ ප්‍රශ්ණෙට අවංකව උත්තර දෙයිද?

 

“Children are a great comfort in your old age - and they help you reach it faster, too.  - Lionel Kauffman”

Monday, July 9, 2012

ඇඳුමේ වැ‍රැද්දද? මනසේ වැ‍රැද්දද?

ළමා හා ස්ත්‍රී දූෂණ පිළිබඳව සමාජයේ විවිධ මති මතාන්තර තියෙනවා. මේ දවස්වල නම් හැම පැත්තෙන්ම අහන්න ලැබෙන්නේ ළමා හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ පුවත්. පහුගිය මාස හයට ළමා හා ස්ත්‍රී දුෂණ 975ක් වෙලා තියෙනවා. සමහර අය කියන්නේ මේවට වගකියන්න ඕන ගෑණුමයි කියලා. ගෑණුන්ගේ ඇඳුම් පැළඳුම් හා හැසිරීම් නිසා මෙහෙම වෙනවා කියලා අත හෝදගන්න උත්සාහ කරනවා. ඒත් හැමදේටම ගෑණුන්ටම වරද පටවන එක හරිද?

මනෝවිද්‍යාඥයන්ට අනුව නම් මේ වගේ දූෂණ සිදු කරන්නේ පිස්සන් නොවුනත් යම්කිසි ආකාරයකින් මානසිකව සමබර නැති මිනිස්සු. ඒත් එක්කම සමහර මනෝවිද්‍යාඥයන් කියන්නේ කාමයට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන් මේ වගේ දේවල් කරනවා කියලා. ඒත් සමාජ විද්‍යාඥයන් කියන්නේ ඒ මිනිස්සු අනිත් අය වගේම සාමාන්‍ය මිනිස්සු කියලා. සමාජ විද්‍යාඥයන් කියන විදිහට දූෂණ සිදු වෙන්නේ කාමයට නිදහසක් නැති සමාජය නිසා හෝ ලිංගභේදයේ ඇති වෙන අසමතාවන් නිසා. මේ විදිහේ කෙටි වචන ටිකකින් හරියටම මේ දේවල් විශ්ලේෂණය කරන්න බැරි උනත් යම්කිසි වැටහීමක් ලබා ගන්න පුලුවන්.

කොහොමත් ලාංකීය සමාජය ඇතුලේ ස්ත්‍රී පුරුෂ දෙවර්ගයම ලිංගික හැඟීම් හිත ඇතුලේ තෙරපගෙන ජීවත් වෙන්නේ. පොඩි කාලේ ඉඳන්ම ඒ ගැන විවෘතව කතා කරන්න අපිට නිදහසක් නැහැ. නව යොවුන් වියට එළඹෙනවත් එක්කම ස්ත්‍රී පුරුෂ දෙවර්ගයේම ලිංගික හැඟීම් වර්ධනය වෙනවා. ඒත් ඒ ගැන කතා කරන්න, දැනුම ලබා ගන්න නිසි මාර්ග කිසි කෙනෙක්ට ලැබෙන්නේ නැහැ. පිරිමි ළමයි අසභ්‍ය චිත්‍රපට හා සඟරා බලන්න යොමු වෙන්නේ අවුරුදු දොළහ, දහතුන වගේ වයසේ ඉඳලම. නිසි අවබෝධයක් නැතුව බලන මේ දේවල් හින්දා සමහර විකෘති කාමුක හැඟීම් සාමාන්‍ය දේවල් කියලා හිතන්න මේ ළමුන් පෙළඹෙනවා. ඊට පස්සේ ගැහැණියක්ව මේ ළමුන් දකින්නේ ලිංගික භාණ්ඩයක් විදිහට. ගොඩක් වෙලාවට ගැහැණු ළමයින් මෙම අසභ්‍ය ච්ත්‍රපට බැලීමට යොමු නොවුනත්, හිතේ තියෙන කුතුහලය නිසාම ආදරය මුවාවෙන් ලිංගික අසහනය නැති කරගන්න පොරකන පිරිමින්ට අහු වෙනවා.

මේ වගේ සමාජයක ජීවත් වෙන ගෑණුන්ගේ ඇඳුම් වල ඇද හොයන්න යනවට වඩා ලිංගිකත්වය කියන මාතෘකාව යටතේ ළමයිව දැනුවත් කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඒත් එක්කම මේ වගේ දූෂකයන්ට නිසි දඬුවම් ලබාදෙන අතරම මානසික ප්‍රතිකාරද ලබා දෙන්න වෙනවා. ගොඩක් වෙලාවට පොත්වල මොන නීතිය තිබ්බත් මේවැනි දූෂකයන්ට ලිහිල් දඬුවම් තමයි ලැබෙන්නේ. සමහරු තමන්ගේ බලතල පාවිච්චි කරලා මැවැනි චෝදනා වලින් නිදහස් වෙනවා. අන්තිමට නැවතත් ඒ අපරාධකරු මේ සමාජයේ අපිත් එක්කම ජීවත් වෙනවා. නිසි මානසික ප්‍රතිකාරයක් නොලබමින් සමාජයට මුදා හැරෙන ඒ අපරාධකරුවන් අතරින් මීටත් වඩා ලොකු අපරාධයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩී. පොලීසියනම් කියන්නේ දූෂණය වෙන අවස්ථාවක ඒක ජංගම දුරකථනයකින් පටිගත කරන්න කියලා, එතකොට කරපු කෙනාව අල්ලගන්න පුලුවන් නිසා. මේ වගේ මෝඩ කතා කියනවට වඩා ඔවුන්ගේ දැනුම පාවිච්චි කරලා මෙවැනි දේවල් වලක්වන්න ගන්න තියෙන ක්‍රියා මර්ග ගැන හිතන්න පෙළඹුනානම් හොඳයි.

විකෘති කාමාශාවන් තියෙන මිනිස්සුන්ට නිසි දඬුවම් හා ප්‍රතිකාර ලබා දෙන්න ඕන සමාජය ඒ කාමාශාවන් සාධාරණීය කරලා, ගෑණුන්ට ඔලුවේ ඉඳන් කකුල් දෙකටම රෙදි පොරවගෙන ඉන්න කියන එක හරියට හිසරදයට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක්.

 

“We live in a society that teaches women to be careful not to get raped instead of teaching men NOT TO RAPE ”

Don't tell me how to dress, tell them not to rape