බෞද්ධ ධර්මය කියන්නේ ආගමක්ද? නැත්නම් දර්ශනයක්ද? කුඩා කාලයේ ඉඳන්ම ඉගෙනෙ ගෙන තියෙන විදිහට නම් බෞද්ධ ධර්මය කියන්නේ දර්ශනයක්, ඒත් මේ තියෙන වටපිටාව බැලුවහමනම් මට හිතෙන්නේ මිනිස්සු මෙහි අන්තර්ගතය පිළිබඳව හිතා ඒ අනුව ජීවිතය හදා ගන්න හදනවට වඩා අන්ධ භක්තියකින් ආගම අදහන්න පොරකනවා කියලා. මෑතක ඉඳන් ෆේස්බුක් හරහා මේ අන්ධ භක්තිකයන් බුද්ධාගමට සෑහෙන ලොකු ප්‍රචාරයක් දෙමින් එහි හුවමාරු කරගන්නා පින්තූර හා අදහස් වලට ප්‍රතිචාර දක්වන්නන් නියම බෞද්ධයන් ලෙස හඳුන්වන්නට උත්සාහ කරන බවක් පේනවා. ඒ එක්කම අනිත් ආගම් සහ ජාතී හෙලා දැකීම නියම සිංහල බෞද්ධයන්ගේ යුතුකම බව මිනිස්සුන්ගේ ඔලුවට දාන්නත් මේ අය උත්සාහ කරනවා. මේ රැල්ල කවදා කොතනින් ඉවර වෙයිද කියලා හිතා ගන්න අමාරුයි.
මීට ටික කාලෙකට පෙර මගේ මවගේ පාර්ශවයේ ඥාතියෙකුගේ පිරිත් දේශනයකට සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුනා. සියලුම වැඩ අහවර වී ඥාතීන් පිරිස සතුටු සාමීඡියේ යෙදී සිටින අවස්ථාවේදී, පිරිත් ගෙදරදී බෙදීමට මුද්‍රණය කරන ලද බණ පොතක් මා අත තැබූ නැන්දා කිව්වේ එම පොත තරුණ පරම්පරාවට උචිත අයුරෙන් ලියූ නිසා එය කියවන ලෙසය. පොත අතට ගත් මම මද සිනහවකින් ඇයට සංග්‍රහ කළ විට ඇය එතෙකින් නොනැවතී තව තවත් ධර්මය පිළිබඳව දේශනා කරන්නට පටන් ගත්තා.
"හරියට ආගම අදහනවනම් කවදාවත් ජීවිතය වරදින්නේ නැහැ දුව. ඔයාලත් දැන්ම ඉඳන්ම ආගම දහමට, පන්සලට හිත යොමු කරන්න."
"හැමදාම පන්සල් නොගියත් පස් පව් වලින් වැලකිලා ඉන්න මම උත්සාහ කරනවා නැන්දා. ඒකට පන්සලටම යන්න ඕන නැහැනේ."
"අපිනම් ඉතින් දැන් වැඩි හරියක් යන්නේ පන්සලටම තමයි. හැම පෝයටම සිල් ගන්නවා. දැන් ඉතින් අපි යන තැනකට පිනක් දහමක් කර ගන්න ඕන කාලෙනේ."
"ඒ කියන්න වයසට යනකොට පින් දහම් කරන්න ඕනා ඊළඟ ආත්මේ හොඳ තැනක, හොඳ විදිහට ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නද?"
"ඔය ළමයි එක්ක ඉතින් කතා කරලා බේරෙන්න බැහැනේ."
ඇය එතැනින් නික්මුනේ හිත අමනාපයෙනි. මේ පිළිබඳව මාගේ මව හා පැවසුව විට ඇය කියුවේ නැන්දා ඇත්තටම පිං දහම් කරන්නේ ඊළඟ ආත්මයේ මීටත් වඩා හොඳ තැනක ඉපදෙන්නට තියෙන ආසාවට විය යුතු බවය. මෑතකදී ඇය රාත්‍රී භෝජන සංග්‍රහයකට අප නිවසට ගොඩ විය. ඇය යන්නට පිටත් වන විට අපි සියලු දෙනාම ඇය පසු පසින් කතා කර කර ගේට්‍ටුව දෙසට පියමන් කළෙමු. මද දුරක් ගොස් ඇය නැවතුනේ ලොකු හිනාවක්ද මුහුණෙ රඳවා ගනිමින්.
"දන්නවද? අපි දැන් හරියට පින් කරනවනේ."
"හානේ ඇත්තද? කොච්චර හොඳද."
"මමයි පුතයි එකතු වෙලා මේ ළඟදී පන්සලට ගේට්‍ටුවක් දාලා දුන්නනේ. ලක්ෂෙකට වැඩිය වියදම් උනා ඒ වැඩේට. ඊට පස්සේ හාමුදුරුවන්ට ඇඳවල් දෙකකුත් අරන් දුන්නා."
"හානේ ඇත්තද? කොච්චර ලොකු පිනක්ද. ඔහොම පින්කරන්න හිතෙන්නත් ඉතින් වාසනාව තියෙන්න ඕනා." අසරණ මනුස්සයෙකුට සත පහක් වියදම් කිරීමට ලෝබ වෙන නැන්දාගේ කතාවට මව දුන් පිළිතුරට මුවට ආ සිනහව තද කරගෙන සිටියේ මහත් අපහසුවෙනි.
"අනිත් දවසේ මොනව හරි කරනකොට මම නංගිටත් කියන්නම්. එතකොට නංගිටත් සම්මාදම් වෙන්න පුලුවන්නේ."
මෙවැනි දේවල් දිහා බලන් සිටින විට මට වැටහී ගිය කාරණා කිහිපයකි. එනම්,
- පින් කිරීමට මුදල් තිබිය යුතුමය. මුදල් වලින් කරනා පින් වලට අමතරව කරනා කිසිදු පිනක් මුදල් වලින් කරනා පින තරම් වටින්නේ නැත.
- නියම ආගම් භක්තිකයෙකු නම් අනිත් ආගම් හෙලා දැකිය යුතුය, ඒ වගේම අනිත් සාමාජිකයන්ට හරියට ආගම අදහන ලෙස තරවටු කල යුතුය.
- නියම ආගම් භක්තිකයෙකු නම් හිතේ මොන දේ තිබුනත්, මොන වැරැද්ද කලත් පන්සලට ගොස් සිල් ගත යුතුය, බෝධි පූජා පැවැත්විය යුතුය.
- නියම ආගම් භක්තිකයෙකු නම් හොර රහසේ පින් කර වැඩක් නැත, හැමෝම දකින ආකාරයට එම පින කළ යුතුය. නොදැක්ක කෙනෙකු සිටීනම් ඒ පිළිබඳව දැනුවත් කළ යුතුය.